සිංගප්පූරුවේ රැකියා
මෙයට අමතරව විදේශීය ශ්‍රමිකයකු සිංගප්පූරු හිමිකාරත්වයක් ඇති ආයතනයකට බදවා ගැනීමට හිතුමතේ ක්‍රියාකිරීමට අදාළ ආයතනයට ඉඩක් නැත. රජය විසින් ඒ ඒ රටවල් අනුව පැනවූ සම්මත අනුපාත එයට ඇත. හැමවිටම සිංගප්පූරු පුරවැසියන්ට ප්‍රමුඛතාව දිය යුතුය. නමුත් මෙම අනුපාත කම්කරුවන් හා ගෘහ සේවකයන් බදවා ගැනීමේදී බලනොපායි.
උදා - සිංගප්පූරු ජාතිකයන් 4 කට ලාංකිකයන් 1
සිංගප්පුරු ජාතිකයන් 2 කට චීන ජාතිකයන් 1
නමුත් බොහෝවිට සිංගප්පූරු ජාතිකයන් හා මැලේසියානු ජාතිකයන් සම මට්ටමේ තබා සැලකීම බොහෝ ආයතන විසින් සිදුකරයි. ඒ සිංගප්පූරුව මලයාව නම් අතීත රාජ්‍යයෙන් වෙන්වූ රටක් වීමත් වර්තමානයේ පවා ජලය/එළවළු/පළතුරු/මත්ස්‍ය නිෂ්පාදන ආදී බොහෝ දේ මැලේසියාව විසින් සිංගප්පූරුවට ලබාදීමත් හේතුවෙනි.
විදේශ හිමිකාරත්වයක් ඇති ආයතනයකට අවශ්‍ය විදේශ ශ්‍රමිකයන් ලබාගැනීමට ඔවුන් වෙත අසීමිත නිදහසක් පෙර පැවතුනද දැන් දැන් එයද සීමා වෙමින් පවතී. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රීලාංකිකයකුට මෙහි රැකියා අවස්ථාවක් ලබා ගැනීම කෙතරම් දුෂ්කර දැයි ඔබට වැටහෙනු ඇත. මෙයට වසර දෙකකට පමණ පෙර මේ නීති රීති ඉතා ලිහිල්ව තිබී ඇති අතර ඒ කාලයේ වීසා නිකුත් කිරීමේදී රැකියා සොයාගැනීම උදෙසාම මාස 3ක් වලංගු වීසා පතක් නිකුත් කිරීමට පවා සිංගප්පූරු රජය ක්‍රියා කර තිබේ.
සිංහපුරයේ ආයතන තමන්ගේ පුරප්පාඩු වෙනුවෙන් කෙලින්ම රැකියා අපේක්ෂකයෙකු බදවා ගන්නේ කලාතුරකිනි. එයට හේතුව වර්ෂයක් පාසා අලුත් කල යුතු රැකියා බලපත්‍රය සහ වෙනත් නීතිමය කාරණා සදහා ඔවුන් මැදිහත්ව ක්‍රියා කලයුතු වීමයි. ඒ වෙනුවට සේවකයන් සපයන රැකියා නියෝජිත ආයතනයක (Agents) සේවය ලබා ගැනීමට අති බහුතරයක් ආයතන ක්‍රියා කරයි. අන්තර්ජාල රැකියා දැන්වීමකට අයදුම්කල පසු ඒ සදහා අවශ්‍ය අවම සුදුසුකම් සපුරා ඇති අයවලුන් වෙත අදාළ නියෝජිත ආයතනයේ නියෝජිතයෙකු දුරකථනයෙන් අමතා මූලික තොරතුරු විමසීමක් සිදු කරන අතර ඇතැම් විටක දුරකථනයෙන් පළමු සම්මුඛ පරීක්ෂණය පවත්වන අවස්ථාද තිබේ. ඒ රැකියාවට අදාළව න්‍යායික කරුණු විමසීමකිනි. මේ නියෝජිත ආයතන සියල්ලක්ම රජයේ ලියාපදිංචි ඒවා වන අතර එහි ක්‍රියාකාරිත්වය පිළිබද හැම විටම විශ්වාසය තැබිය හැකි වේ.
අපේක්ෂකයා හා සම්බන්ධ මූලික සම්මුඛ පරීක්ෂණ අදාළ නියෝජිත ආයතනය මගින් පවත්වා සුදුසුකම් සනාථ කරගත් අපේක්ෂකයන් පමණක් රැකියාව සපයන ආයතනය වෙත ඉදිරිපත් කර ඒ අතරින් අවශ්‍ය ප්‍රමාණය තෝරා ගැනීමට අවස්ථාව සලසන අතර තෝරා ගන්නා අයදුම් කරුවා වෙනුවෙන් අවශ්‍ය නීතිමය කාරණා (රැකියා බලපත්‍ර සැකසීම/අලුත් කිරීම ආදිය) නියෝජිත ආයතනය විසින් සිදුකරනු ලබයි. ඒ වෙනුවෙන් රැකියාව ලබාදෙන ආයතනය ඔවුන් වෙත ගෙවීම් සිදුකරයි. සිංගප්පූරුවේ නීත්‍යානුකූලව රැකියාවේ නිරත සියලුම දෙනා පිළිබද දත්ත MOM හි ඇති අතර යම් හෙයකින් වර්තමාන ආයතනයෙන් ඉවත් වී වෙනත් ආයතනයක රැකියාවකට සේවකයා එක්වන විට පැරණි ආයතනයේ නම අදාළ සේවකයාගේ නමට ඇති දත්ත ගොනුවෙන් ඉවත් කර අලුත් ආයතනයේ නම ඒ වෙනුවට ඇතුල් කිරීමට MOM ක්‍රියා කරයි.
![]() |
| විදේශීය රැකියා අපේක්ෂකයන් වෙනුවෙන් සේවය සලසන්නේ නැති බැව් දැක්වෙන මෙවැනි පුවරු නියෝජිත ආයතන ඉදිරියේ වර්තමානයේ සුලභව ප්‍රදර්ශනය කර තිබේ. |
ඒ අනුව ඉතා විධිමත් ක්‍රමවේදයකින් මෙන්ම දැඩි කම්කරු නීති පද්ධතියකින්ද සේවකයා සුරක්ෂිත වී තිබේ.කරුණු එසේ වුවද සිංගප්පූරුවේ රැකියාවක් ලබා ගැනීම වර්තමානය වන විට ඉතාමත් දුෂ්කර කටයුත්තක් වී තිබේ. වසරකට නිකුත් කල රැකියා බලපත්‍රයකින් සේවය කරන අයද ඊළග වසරට එය අලුත් නොකරනු ඇතැයි යන භියෙන් පසුවෙයි. ඒ පසුගිය ජනවාරි මස 14 දින රජය පැනවූ නව නීති රීති නිසාවෙනි.


No comments:
Post a Comment